Thursday, March 3, 2011

මතු භවයක අප යලි හමුවේවා !!!

දයාබර රසික අයියේ,

මෙවර නිවසට පැමිණීමට පෙර
තිබුණි තවත් බලාපොරොත්තු දෙකක්
කෙලෙස හෝ සඵල කරගැනීමට සිතාසිටි
නැවත නිවසෙන් යාමට පෙර....

එකක් ඔබව හමුවීම
අනෙක මෙහි අකුරු කිරීම
ඉටුවී ඇත දැන් ඒ බලාපොරොත්තු දෙකම
නමුත් කිසිවිටක බලාපොරොත්තු නොවු ලෙස.......

සිතුවෙ නෑ කිසිවිටක මෙලෙස ඔබ හමුවෙන්න
නැවත කිසි දින හමුනොවන ලෙසින්
සිතුවෙ නෑ මෙවැන්නක් අකුරු කරන්න
වේවි කියා මොහොතක් වත්.........

නමුත් සියල්ල දැන් සිදුවී අවසන්
ඔබ අද ගියා ඔබේ අවසන් ගමන
අප සැම හදක් තුල ඉඩක් ඉතිරි කරමින්
කිසි දිනක කිසිවෙකුට පිරවිය නොහැකි ඔබටම හැර

මතකයි තාමත් අද වගේ
පුංචි කාලෙ අපි සෙල්ලම් කල හැටි............
සැමවිට මගේ ගමනට පාර පෙන්වා ඔවදන් දුන් හැටි
දනිමි මට පමණක් නොව සැමටම ඔබ  එලෙස බව


දැනුනෙ ඔබ මට මගේම සොහොයුරෙක් ලෙසින්
හමු වන්නට නොහැකි වුවත් නිතරම
සිටියා ඔබ සැමදාමත් ..........
මගේ හදවතේ මගේ ලගින්ම

කොතරම් අකමැති වුවත් සිතුනා වරෙක
ඔබ අප හැරදා යයි කියා දිනෙක
එහෙත් පැතුවේ නෑ කිසිවිටක
උදාවෙයි කියා ඒ දිනය මෙතරම් ඉක්මනින්

නෙතග කදුලක් නංවමින් ඔබ ‍අද අපෙන් වෙන් වුනත් 
සසරේ යලි යලිත් අප හමුවේවි නිවන් දක්නා තුරාවට
පතමි එදිනට යලි හමු වෙන්නට 
මගේම සොයුරෙක් ලෙසින්...........

හැකිනම් ඊට පෙර ඉපදෙන්න නැවතත් 
මේ බිමේ අප අතරම ........
යන්න ‍නොවේ මේ ලෙසින්
ජිවත් වන්න සියක් වසක් ...............




-පේරාදෙණිය ඉංජිනේරැ පී‍්‍ඨයේ අඨ්‍යාපනය ලද මීට දින දෙකකට කලින් අප අතරින් වියොවූ ආදරණීය රසික ‍‍‍රොහාන් සොයුර ඔබ වෙනුවෙනුයි මේ සටහන-  




Wednesday, September 15, 2010

බ්ලොග් නො ලියපු මාස හයක්. ebay සහ තවත් කතා.

           ඔන්න මාස හයකට පස්සේ තවත් ලිපියක්. මේකත් දැන් පුරුද්දකට ගිහිල්ලා වගේ. ඒ කිව්වේ මාස ගානක් ලියන්නෙ නැතිව ආපහු ඇවිත් ලියන එක. මම එහෙම කිව්වෙ ඇයි කියලා මගෙ කලින් පෝස්ට් ටික දැක්ක කෙනෙකුට හිතාගන්න පුලුවන්. මොකද මම බ්ලොග් ලියන්න පටන් අරන් දැන් අවුරුදු එක හමාරකටත් වැඩි වුනාට තාමත් ලියලා තියෙන්නේ පෝස්ට් දහයක් වගේ පොඩි ගානක්. ඒ අතින්  බලන කොට බ්ලොග් ලියන එකත් ලේසිපාසු වැඩැක්යැ.  Whew
           අදත් ලියන්න ගත්තට මොනවා ලියන්නද කියලා හිතාගන්න බෑ. Thinking ඒක හින්දා හිතට එන දේවල් ටිකක් ලියලා දාන්නම්. මුලින්ම මේ මාස හය ගෙවුන හැටි ලියන්නම්කෝ. අපේ efor අවසන් වුනු කාලෙම වගේ තමයි ධනිකගේ සිතිවිලි දැකලා ebay එකෙන් ගනුදෙනු කරන්න හිතිලා sampath web card එකක් ගත්තේ. web card එක ලැබුනු ගමන්ම කලේ Godaddy ගිහින් ඩොමේන් එකක් ගත්තු එක. අත්හදා බලන්නත් එක්ක මුලින්ම ගත්තෙ .info ඩොමේන් එකක්. ඒකෙ ප්‍රතිඵලය තමයි මගේ බ්ලොග් ලිපිනය blog.upulpalitha.info ලෙසින් වෙනස් වීම. ඉතින් ඊට පස්සෙ ebay එක්ක ගනුදෙනු කරන්නත් පුරුදු වුනා. ගනුදෙනු කිව්වට ඉතින් තාම ගෙන්න ගත්තා විතරයි. ඒ වගේම මම ගෙන්න ගන්න ඉල්ලුම් කරපු සියලුම දේවල් සති දෙකකටත් වඩා අඩු කාලයක් ඇතුලත ඉතා හොඳ තත්වයෙන් ගෙදරටම ලැබුනා. ඒ ebay එක්ක කටයුතු කරන්න බය වෙන්න එපා කියලා මමත් කියනවා. මේ තියෙන්නෙ මේ මාස හයේදි මම එහෙම ගෙන්න ගත්තු දේවල් ටිකක්.

Friday, March 12, 2010

efor 2010 - තව සති දෙකයි.

මාස හයකට පස්සෙ නැවත බ්ලොග් ලිවීම පටන් ගත්තට පස්සෙ ‍ආයෙමත් පෝස්‍ට් එකක් ලියන්න වෙලාවක් ලැබුනෙ පහුගිය සති දෙකක වගේ කාලයකදී තමයි. ඒ වුනත් ලියන්න කියලා වි‍ශේෂ දෙයක් නොතිබු‍ණ නිසා මොනවත් ලියන්න වුනේ නෑ. ඔන්න දැන්නම් ලියන්න වි‍ශේෂ දෙයක් තියෙනවා.ඒ තමයි මම කලින් පෝස්ට් එකකදීත් සඳහන් ක‍ළ efor2010 ප්‍රදර්ශනය. ප්‍රදර්ශනයට තව හරියටම සති දෙකයි.දැන් මම මේ ප්‍රදර්ශනය ගැන විස්තර ටිකක් කියන්නම්.


Wednesday, January 13, 2010

මම ආයෙත් බ්ලොග් ලියනවා

ඔන්න ඉතිං‍ මම ආයෙත් බ්ලොග් ලියන්න ආවා. මගේ අන්තිම බ්ලොග් පෝස්ට් එක ලිව්වෙ දැන් මාස හයකටත් පොඩ්ඩක් කලින්. මෙ පමණ කාලයක් බ්ලොග් එක ලියන්න බැරි වුනේ හේතු කිහිපයක් නිසයි. ප්‍රධානම හේතුව කාර්යබහුල වීම. මගේ කම්මැලිකමත් තවත් හේතුවක්. කොහොම වුනත් බ්ලොග් කියවන එකනම් දිගටම කරගෙන ගියා.

ගෙවී ගිය මාස හයක කාලයේදී මගේ ජී‍විතේ ගොඩක් දේවල් වෙනස් වුනා. හේතුව මටත් කැම්පස් යන්න වීම. ඒ ගාල්ල හපුගල පිහිටි රුහුණු විශ්වවිද්යාකලයේ ඉංජිනේරු පීඨයට. මේ නිසා මුලින්ම මගේ පදිංචිය ගාල්ලට වෙනස් වුනා. ඊට පස්සෙ නොදැනීම වගේ කැම්පස් ජීවිතයෙනුත් මාස හයක්ම ගෙවී ගිහින්. දැන් පළමු සමාසිකයත් ඉවරයි. ලබන සතියේ පළමු සමාසිකයේ අවසාන විභාගය පටන් ගන්නවා. ගෙවී ගිය කාලය බොහොම කාර්යබහුල වුනා. නිවාඩුවක් ලැබුනේ කෙටි කාලයකට විතරයි. ඒ වුනත් මේ කාලය තුළ ජීවිතයට ගොඩක් අත්දැකීම් හා අමතක නොවන සිදුවීම් රැසක් ලැබුනා. ඒ ගැන විස්තර ඉදිරි දවසකදී කියන්නම්.
අපේ ඉංජිනේරු පීඨය ගැන කියනවා නම්, මොරටුව හා පේරාදෙණිය හැරුනුවිට ලංකාවේ තිබෙන අනෙක් එකම ඉංජිනේරු පීඨය වන්නේ හපුගල ඉංජිනේරු පීඨය යි. නමුත් ලංකාවේ වැඩිදෙනෙක් හපුගල ඉංජිනේරු පීඨයක් තිබෙන බව දන්නේ නැහැ. ඇත්තටම මමත් මෙහෙට එන්න කලින් මේ ගැන වැඩි දෙයක් දැනගෙන තිබුනේ නැහැ. අපේ ඉංජිනේරු පීඨයෙනුත් මොරටුව හා පේරාදෙණිය ඉංජිනේරු පීඨ වලට නොදෙවෙනි ඉංජිනේරු උපාධියක් පිරිනමනවා. එසේම පීඨයේ සහෝදර කැලත් බොහොම වටිනවා. ඒ නිසා රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට එනවා නම් නොපැකිලව එන්න කියා මම ආරාධනා කරනවා.

‍අපේ ඉං‍ජිනේරු පීඨය ගැන වැඩි දෙනෙක් නොදැන සිටිමට හේතුව තවම පීඨය ‍ආරම්භ කර වසර දහයක් පමණක් වීමයි. පීඨයේ දස වැනි සංවත්සරය යෙදී තිබෙන්නේ මේ වසරේ. මේ දස වැනි සංවත්සරය සමරන්න අපේ පීඨයෙන් ප්‍රදර්ශනයක් පවත්වනවා. ප්‍රදර්ශනයේ නම  EFOR 2010. ප්රයදර්ශනය පවත්වන්නේ මාර්තු මස 26, 27 හා 28 යන දින වලදීයි. මේ ගැන වැඩි විස්තර මම ඉදිරි දිනයකදී කියන්නම්. අලුත්ම විස්තර බලාගන්න කැමති අය www.efor.lk වෙත යන්න.

ලියන්න නම් ගොඩක් දේවල් තියනවා. ඒත් ඉතිං විභාගයට පාඩම් කරන්නත් එපැයි. වෙලාවක් ආවම ආයෙත් ලියන්නම්. ‍කොහොම හරි දිගටම ලියන්න තමයි කල්පනාව.........

Sunday, July 5, 2009

SUPER (c) මීඩියා පරිවර්ථකය.

ඔන්න ටික දවසකට පස්සෙ පෝස්ට් එකක් ලියන්න ලැබුනා. මේක මම සෑහෙන දවසකට
කලින් ලියන්න හිතපු දෙයක්. ඒත් ලියාගන්න බැරිවුනා. මම මේ ලියන්න හදන්නෙ
මීඩියා පරිවර්ථකයක් ගැන.

මේකෙ නම SUPER. නමින්ම කියවෙන පරිදි එය ඇත්තටම සුපිරි පරිවර්ථකයක්.
(Simplified universal player, encoder & renderer).මේකට ඕනෑම media
format එකකට අදාල file පරිවර්ථනය කිරීමට මෙන්ම ධාවනය කිරීමටත් පුළුවන්.
මම මේක වැඩිපුරම යොදාගන්නෙ මගෙ ෆෝන් එකට video file, 3GP හෝ MP4 විධියට
දාගන්න ඕන උනාමයි. බොහෝ මීඩියා පරිවර්ථක වර්ග අන්තර්ජාලයේ හොයාගන්න
තිබුනත් ගොඩක් ඒව trial version. එම නිස ඔවුන්ගේ විවිද සීමා කිරීම් වලට
යටත් වෙන්න සිදුවෙනවා. එසේම ලැබෙන file වල තත්වයත් බොහෝවිට අඩුයි. මුදල්
ගෙවා නම් මෙම සීමාකිරීම් වලින් මිදෙන්න පුලුවන්.

නමුත් SUPER ලබාදෙන්නෙ සම්පූර්ණයෙන්ම නොමිලේ. එසේම එය full version එකක්
නිසා කිසිම සීමා කිරීමක් නෑ. ලැබෙන file ඉතා ඉහල තත්වයෙන් ලබාගන්න
පුලුවන්. මේකට ඔවුන්ගේ වෙබ් අඩවියෙන්ම SUPER බාගත යුතුයි. ඇත්තෙන්ම SUPER කියන්නෙ මුදලට
ලබාදෙන පරිවර්ථක වලට කල නොහැකි දේත් නොමිලේම ඉටුකරගත හැකි සුපිරි
පරිවර්ථකයක්. SUPER බාගන්න යන්න.

http://www.erightsoft.net/SUPER.html

--
Sent from my mobile device

Sunday, June 28, 2009

ඔන්න මමත් පටන් ගත්තා

මේ දවස් කීපයේම මම මගේ බ්ලොග් එක ලිව්වෙත් අනිත් අයගෙ බ්ලොග් කියෙව්වෙත්
මගෙ මොබයිල් ෆෝන් එකෙන්. ඒකට Opera mini එක ගොඩක් උදව් උනා. අදත් ලියන්නෙ
ෆෝන් එකෙන්ම තමයි. අමාරුම වැඩේ ෆෝන් එකෙන් සින්හල කොටන එක. දැන්නම්
සෑහෙන්න පුරුදුයි. ෆෝන් එකෙන්ම ලියන්න හේතුව මගෙ lankabell dialup
සබඳතාවය ඉවත් කල නිසයි. ඉදිරියෙදි හොඳ සබඳතාවක් ගන්න බලාපොරොත්තු වෙනවා.
එතකොට කියන්නම්.

හැමෝම වගේ photo blog පටන් ගත්තු හින්ද මමත් photo blog එකක් පටන් ගත්ත.
ඉතින් මෙන්න මගේ photo blog එක.

http://upulphotoblog.blogspot.com

පටන් ගත්ත කිව්වට ඇත්තටම මුල්ම පෝස්ට් එක දාල සෑහෙන කල්.මගෙ ෆෝන් එකෙන්
කෙලින්ම ෆොටෝ, බ්ලොග් එකකට යවන්න පුලුවන් නිසා ටෙස්ට් කරල බලන්නත් එක්ක
තමයි ඒක දැම්මෙ. මේකෙ කැමරාවෙන් ගන්න ෆොටෝත් ඉතා හොඳ මට්ටමේ තිබෙන නිසා
මම ගත්තු හොඳ ෆොටෝ ඉදිරියේදි දිගටම බ්ලොග් එකට දාන්න බලාපොරොත්තු වෙනවා.
ඉතින් ඉදිරියෙදිත් නිවාඩු වෙලාවට මගෙ photo blog එක පැත්තෙ ඇවිත් යන්න.
විශේෂයෙන් මේ ගැන ඔබේ අදහස් බලාපොරොත්තු වෙනවා.

--
Sent from my mobile device